Friday, April 19, 2024

General line - 0115112241

ඉඩ අඩු නිසා කටුනායක ලොකු වැඩ බැහැ




කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන සහ රට තුළට පැමිණෙන ඕනෑම ගුවන් මගියෙකුට තමන් කැමති ආගමන විගමන නිලධාරියෙකුගේ සේවය ලබා ගැනීමට හැකිවීම දූෂණ හා අක‍්‍රමිකතා රැසකට පහසුවෙන් මග විවර කර දෙන අවස්ථාවක් වී තිබෙනවා.

ලෝකයේ වෙනත් රටවල ආගමන විගමන කලාපයට පැමිණෙන සියලුම වර්ගයේ ගුවන් මගීන් එක් පෝළිමකට යොමු කරනු ලබනවා. ආගමන විගමන නිලධාරීන්ගේ කවුන්ටර් පෙළ පිහිටා තිබෙන්නේ එම මගී පෝළිමට තරමක් ඈතින්.

පෝළිමේ පළමු කෙලවරේ සිටින ගුවන් තොටුපොළ නිලධාරියෙකු විසින් ආගමන විගමන නිලධාරීන් සිටින කවුන්ටරය වෙත එම ගුවන් මගියා යොමු කිරීම සිදුවනවා. එම නිසා කිසිඳු ගුවන් මගියෙකුට අදාළ දිනයේ රාජකාරී කරන ආගමන විගමන නිලධාරියෙකු කලින් දැන හඳුනගෙන ඔහු වෙත යොමු වීමට හැකියාවක් නැහැ.

එහෙත් කටුනායක ගුවන් තොටුපොළේ එවැනි එක් ප‍්‍රධාන පෝළිමක සිට ආගමන විගමන කවුන්ටර් වෙත අහඹු ලෙස ගුවන් මගීන් යොමු කිරීම සිදුවන්නේ නැහැ.

මේ පිිළිබඳ අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා ආගමන විගමන නිලධාරී සංගමයේ ලේකම් වයි.ඒ.එස්.ඩී. යාපා මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය මීට පෙර අත්හදා බැලූ බවයි. පැය 06 ක කාලයක් සඳහා මෙම ක්‍රමවේදය අත්හදා බැලුවත් එහිදී මගීන්ට සිදු වූ අපහසුතාවය මත එය අත්හිටුවන්නට තීරණය කළ බවත් පැවසුවා. මෙම පරිශ්‍රයේ ඇති ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම අපහසු වී ඇති බවයි ආගමන විගමන නිලධාරී සංගමයේ ලේකම් වයි.ඒ.එස්.ඩී. යාපා මහතා සඳහන් කළේ.

මෙම තත්ත්වය පිළිිබඳව ආගමන විගමන පාලක එම්.එන්. රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ගුවන් තොටුපළ පරිශ්‍රය පුළුල් කිරීමේ සැළසුමක් සකස් කරමින් ඇති බවත් ඉන් අනතුරුව මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි.