Thursday, March 28, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන් (UPDATE)




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 10 ක් ඒකාබද්ධව සිදුකළ සංකේත වැඩවර්ජනය අද (04) දහවල් අවසන් කෙරුණා.

අද පෙරවරු 8.00 ට ආරම්භ කෙරුණු එම වර්ජනය මධ්‍යහ්න 12.00 ට අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේ.

කෙසේවෙතත් රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට (05) උදෑසන 8.00 දක්වා කි‍්‍රයාත්මකයි.

අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මෙම වර්ජනය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා. ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් තමන් මුහුණදුන් අපහසුතා පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා. එහිදී ඇතැමුන් පැවසුවේ තමන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අලුයම 04.00 ට පමණ රෝහල වෙත පැමිණි බවයි. එහෙත් ප්‍රතිකාර ලබා දීම සඳහා දහවල් 12.00 වන තෙක් රැඳී සිටීමට සිදු වූ බවත් පැවසුවා.

මේ අතර තම ඉල්ලීම්වලට බලධාරීන් විසඳුමක් ලබානොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බව මෙම වර්ජනයට සහභාගි වූ පාර්ශ්වයක් වන සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා සඳහන් කළා.


 

අද පෙරවරුවේ සිට වෛද්‍යවරු වර්ජනයේ

(Jul 4, 2016 @ 05:54)

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 10 ක් අද (04) පෙරවරු 8.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ දහවල් 12.00 දක්වා මෙම සංඛේත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමය සහ සමස්ත ලංකා දුරකථන කි‍්‍රයාකරුවන්ගේ සංගමය අද කි‍්‍රයාත්මක මෙම සංඛේත වැඩවර්ජනයට සහාය ලබාදෙනු ඇති.

එමෙන්ම සමස්ත ලංකා වාට්ටු ලිපිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා ඕර්වසියර්වරුන්ගේ සංගමය, සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය රසායනාගාර කාර්මික සහයක සංගමය ද මෙම වැඩවර්ජනයට එක්වන බවයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේ. රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද කි‍්‍රයාත්මක මෙම වැඩවර්ජනයට සහාය ලබාදෙනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීම මෙම සංඛේත වැඩවර්ජනයේ මූලික අරමුණයි.

ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ද මෙම වැඩවර්ජනයේ තවත් අරමුණක් වනවා.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියේ අරමුණුවලට පටහැනිව සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන කි‍්‍රයා පිළිවෙතට විරෝධය පළ කිරීම සහ රාජ්‍ය සේවය විනාශ කිරීමට ආණ්ඩුව දරන උත්සහාය පරාජය කිරීම ද මෙම වැඩවර්ජනයේ තවත් අරමුණු කිහිපයක්. තම ඉල්ලීම් සඳහා රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ.