ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂත්, වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්තත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත, එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
කෙසේවෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බවයි.
එම විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බවත් ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පැමිණිලිකරු කියා සිටින්නේ ඉකුත් 12 වන දා පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත්කර ගැනීමට ගනු ලැබූ තීරණ මත එම පක්ෂය හා එහි සංවිධාන මෙන්ම නිලධාරීන් කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණා.