Tuesday, March 25, 2025

General line - 0115112241

රුසියානු හමුදා සේවයට මෙරට පුද්ගලයින් යොමුකළ ඒජන්සියක දෙදෙනෙකු අත්අඩංගුවට



රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු සහ එහි කළමණාකරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු සහ කළමණාකාරවරයෙක්.

සංචාරක වීසා මඟින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති අතර එහිදී රුසියානු යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට එම ලාංකිකයින්ට සිදුව තිබෙනවා.

මෙම රැකියා නියෝජිත ආයතනය විසින් සිදුකල අදාළ ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 07ක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

එම පැමිණිල්ලට අනුව මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වනවා.

අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අත්හිටුවීමටද පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.