අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
පසුගිය 10වනදා සිදුවූ එම මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් මෙහෙයවීම සහ එම මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඝාතනයට අදාළ තොරතුරු සැකකරු විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කලුහත් නදීශ් ආබෘ නොහොත් “බාබා” නැමැත්තාට දුරකථන මාර්ගයෙන් තොරතුරු ලබාදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය පැවසුවේ.