Saturday, February 22, 2025

General line - 0115112241

ගුවන් මගින් මෙරටට එවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගොවි මහතෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ලතින් ඇමෙරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද සිය භාරයට ගනු ලැබුවා.

එම පාර්සලය කටුනායක, සීදුව ගුදම් ගබඩා සංකීර්ණයක් වෙත එවා තිබූ බවයි රේගු නිධාරීන් පැවසුවේ.

එය පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ ලිපිනයකට එවා තිබෙනවා.

එම අයිස් මත්ද්‍රව්‍ය අඩංගු එම පාර්සලයේ ඇසුරුම ගුදම් සංකීර්ණය වෙත පැමිණි අදාළ ගොවි මහතා ඉදිරියේ විවෘත කර පරීක්ෂා කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහි තිබී කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 101ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය නිලධාරීන් වෙත භාර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.