පිළියන්දල මොරටුව මාර්ගයේදී අත්අඩංගුවට ගත් ගව ජාවාරමේ නිරත වූ සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, පිළියන්දල පොලීසිය විසින් සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි.
පිළියන්දල දෙස සිට මොරටුව දක්වා ධාවනය වූ වෑන් රථයක් නතර කරන ලෙසට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අණ කර තිබුණා.
කෙසේවෙතත් එම වෑන් රථය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇති අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වෑන් රථය පසුපස හඹාගොස් එය නතර කර තිබෙනවා.
එම වෑන් රථය පරික්ෂා කිරීමේදී එහි තිබී කඩු, බෝම්බ සහ කඹ කිහිපයක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
වැඩිදුරටත් කළ පරික්ෂාවකදී හෙළි වී ඇත්තේ එම වෑන් රථය ගව ජාවාරම සඳහා යොදා ගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ එම ගව ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.
එහිදී හෙළි වී ඇත්තේ මෙම ගව ජාවාරම සඳහා සැකකරුවන් විසින් යොදාගෙන ඇත්තේ කුලී පදනම මත ලබා ගත් වෑන් රථ බවයි .
සැකකරුවන් දීර්ඝ කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගවයින් සොරකම් කළ තවත් ප්‍රදේශවලට ගොස් එම ගවයින් අලෙවි කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ගවයින් 90 දෙනෙකු පමණ සොරකම් කර ඇති බවයි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ.
එම ගවයන් මාවනැල්ල, ගාල්ල, වත්තල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට අලෙවි කර තිබෙනවා.
සැකකරුවන් සිදු කළ ගව සොරකම් 19ක් සම්බන්දයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමටද හැකි වූ බවයි පොලීසිය පැවසුවේ.
එම සොරකම් 19ට අදාළව සොරකම් කර ඇති ගවයින් ගණන 40කට ආසන්න වනවා.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින පිරිසක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.