බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම නිලධාරින් එලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
එලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට සූදානමින් සිටින්නේ බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් බවටද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව අද දිනයේ ඔවුන් එලෙස අසනීප නිවාඩු වාර්තා කළහොත් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණවලට රැගෙන යාම සහ අමුත්තන් පෙන්වීම වැනි කටයුතු වලට බලපෑම් එල්ලවනු ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.
අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහා කිසියම් පිරිසක් සමාජ මාධ්‍ය හරහා නිලධාරීන් දැනුවත් කර තිබෙන බවද වාර්තා වනවා.
එලෙස කටයුතු කළ නිලධාරීන් සිවු දෙනෙකු බුද්ධි අංශ විසින් හඳුනා ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර එම නිලධාරීන් සිවුදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවා.
එමෙන්ම වෙසක් සතිය වෙනුවෙන් ඊයේ සිට බන්ධනාගාර සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන අතර එවන් පසුබිමක් තුළ සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.