Sunday, February 23, 2025

General line - 0115112241

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා සමඟ එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් එරට විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන් ඇතුළු සියලුදෙනා මියගොස් ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

නැගෙනහිර අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකදී එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩාවැටී ඇති ස්ථානයේ එම යානයේ සුන්බුන් පවතින ආකාරය දැක්වෙන දර්ශනද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරුට ලක්වීමෙන් පසු එම යානය සොයා පැය ගණනාවක් පුරා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

ජීවිත ආරක්ෂක කණ්ඩායම් 73ක් එම මෙහෙයුම් සඳහා එක්ව සිටි අතර රටවල් ගණනාවක සහයද ඒ සඳහා ලබාදී තිබුණා.

අනතුර සිදුවූ ප්‍රදේශයේ පැවැති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වුණා. 

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් අනතුරට ලක්වූ යානය 1990 දශකයේදී නිපදවු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

එම යානයේ අමතර කොටස් ලබා ගැනීමේ දුෂ්කරතාවය මෙම අනතුරට හේතුවක් විය හැකි බව එම වාර්තා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා හෙලිකොප්ටර් යානයට ගොඩවීමට පෙර ඡායාරුපයකට පෙනී සිට ඇති අතර එය සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්වී තිබෙනවා.

අනතුරෙන් පසු ඉරාන ජනාධිපතිවරයාගේ ජීවිතය රැකදෙන මෙන් ඉල්ලමින් එරට ජනතාව යාඥා කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊබ්‍රහිම් රයිසි 2021 වර්ෂයේදී ඉරාන ජනාධිපතවරයා ලෙස තේරී පත්වූ අතර මිය යන විට ඔහු 63 හැවිරිදි වියේ පසු වුණා.