Tuesday, March 25, 2025

General line - 0115112241

කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට



පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

කළු, ගිං සහ නිල්වලා ඒ අතරින් ප්‍රධානයි. අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව මෙන්ම රියදුරන් ද දැඩි අවදානයක් යොමුකළ යුතු බවයි.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පවතින අවදානම තවත් පැය 48කට වලංගු වනවා.

එහි වැඩිම අවදානමක් ඇත්තේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

එමෙන්ම මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගං වතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පවතින අවදානම තවත් පැය 48කට වලංගු වනවා.

එහි වැඩිම අවදානම ඇත්තේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

වර්ෂාව තවමත් අවසන් වී නොමැති බැවින් සෙසු ගංඟා ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් පවතින්නේ ද?

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ පවතින වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් වාන් දමමින් ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල පැවසුවේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

ප්‍රදේශ රැසකට මේවන විට ද වැසි ඇදහැලෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.