Tuesday, March 25, 2025

General line - 0115112241

ඉන්දුනීසියානු හා ශ්‍රී ලංකා ජනාධිපතිවරු අතර සාකච්ඡා



ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතාව ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින් ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ඒ, ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අතර පැවැති නිල හමුව හමුවේදීයි.

එහිදී දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.

ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද ඉන්දුනිසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙසයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කර තිබෙනවා.

ඉන්දුනීසියානු ඖෂධ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.