Friday, April 19, 2024

General line - 0115112241

පමා වූ යානයේ මගීන්ට කෝටි දෙකක් – බීලා අහුවුණු නියමුවෙකුට දේශපාලන උසස්වීමක්




ජර්මනියේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානය පැය 15ක් ප්‍රමාද වීම හේතුවෙන් ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළට සහ අදාළ යානයේ සිටි මගීන්ට වන්දි ගෙවීමට ශ්‍රී ලංකන් සමාගමට සිදු වී තිබෙනවා.

යුරෝපා කොමිසමේ නීති අනුව පැය 3 කට වඩා ප‍්‍රමාදවන ගුවන් යානාවල මගීන්ට අදාළ සමාගමෙන් වන්දි ගෙවීය යුතුයි.ඒ අනුව ගුවන් මගියකුට යුරෝ 600ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 96,960ක් වන්දි ගෙවිමට ශ්‍රී ලංකන් සමාගමට සිදු වනවා. මගීන් 259 දෙනෙකුට ගෙවන එම මුදල රුපියල් කෝටි 2 කටත් වඩා වැඩියි.මෙම සිද්ධිය යුරෝපය පුරා පුවත්පත්වල ද වාර්තා කර තිබෙන අතර මෙමගින් ලංකාවේ ගුවන් සේවාවන් ගැන වැරදි තත්ත්වයක් ප‍්‍රචාරයවීමෙන් සංචාරක කර්මාන්තයට ද හානියක් සිදුවවන බව ඒවායේ දක්වා තිබෙනවා.
ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළින් පසුගිය සිකුරාදා (19) පස්වරු 3.20ට ශ‍්‍රී ලංකාව බලා පියාසර කිරීමට තිබූ මගීන් 259 ක් රැගත් මෙම ගුවන් යානය පැය 15 ක් ප‍්‍රමාද වුනේ එම යානය කොළඹ බලා පදවාගෙන ඒමට නියමිතව සිටි ප්‍රධාන නියමුවා නියමිත වේලාවට ගුවන් තොටුපළට නොපැමිණීම හේතුවෙන්. අදාළ යානය කොළඹ දක්වා රැගෙන ඒමට නියමිතව සිටි ප්‍රධාන කපිතාන් උපේන්ද්‍ර රණවීර බීමත්ව සිට නියමිත වේලාවට ගුවන් තොටුපළට නොපැමිණීමෙන් මෙම ප්‍රමාදය සිදුවුණා. ගුවන් නියමු ප‍්‍රධානී කපිතාන් උපේන්ද්‍ර රණවීර ඉන්පසුව සිදු කළ මත්පැන් පරීක්ෂණයෙන්ද අසමත්වූ අතර මේ වනවිට ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.
යූ.එල්. 554 දරන ඒ 330 වර්ගයේ මෙම ශ‍්‍රී ලන්කන් ගුවන් යානය ඉන් පසුව පදවා ගෙන පැමිණ ඇත්තේ ජර්මනිය වෙත ලංකාවෙන් ගිය වෙනත් යානයක නියමුවෙක්. ජාත්‍යන්තර නීතිය අනුව එම නියමුවාට පැය 10 ක විවේක ගැන්වීමකින් පසු දෙවැනි යානයක් පැදවීමේ අවසරය ලබාදීය හැකි නිසා , යානය ඔහුට භාර දෙන්නට හැකිවූයේ පැය 15 ක ප‍්‍රමාදයකින්. ශ්‍රී ලංකන් ගුවන් සේවය සිද්ධිය සැල වූ වහාම අදාළ නියමුවා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.මේ වන විට ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් නියමු පරීක්ෂණයක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනම පරීක්ෂණයක් පවත්වනවා.

 

 

මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සේවය කළ ශ්‍රී ලාංකික සහාය නියමුවෙකු ලන්ඩන් හී හීත්‍රෝ ගුවන් තොටුපළේදී ද මේ ආකාරයේම සිදුවීමකට මුහුණ දුන්නා. අදාළ සහාය නියමුවා බීමතින් සිටින බවට ලැබුණු තොරතුරක් මත බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළ පොලීසිය පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ නියමු කුටිය තුළටම පැමිණ අදාළ සහාය නියමුවා අතුඅඩංගුවට ගනු ලැබුවා. එම සහාය නියමුවා නියමිත වේලාවට ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් ගමනට සූදානම් වූවත් නියමු කුටිය තුළදීම අත්අඩංගුවට පත්වන ඔහු ඉන් පසුව සිදු කළ මධ්‍යසාර පරීක්ෂණයෙන්ද වරදකරු බවට පත්වුණා. එම අවස්ථාවේදීද අදාළ සහාය නියමුවාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ජාතික ගුවන් සේවාවෙන් අදාළ නියමුවා නෙරපා හැරීමටද කටයුතු කළා. නමුත් මේ වන විට අදාළ සහාය නියමුවා ස්වකීය දේශපාලන බලපුළුවන් කාරකම් මත වෙනත් ගුවන් සේවාවක ප්‍රධාන කපිතාන්වරයෙකු ලෙස මෑතක සිට යළි කටයුතු කිරීම ආරම්භ කර සිටිනවා. දැනට ප්‍රධාන නියමුවෙකු ලෙස අදාළ ගුවන් සමාගමේ සේවය කරන මෙම පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ පියාද දේශපාලනික පසුබිමක් ඇති දෙදෙනෙක් නිසා මේ ආකාරයෙන් ප්‍රධාන නියමුවෙකු ලෙස රැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ.