Friday, April 26, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ ඝාතනය ගැන තවත් අවුලක්




රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මළ සිරුරේ කොටස් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගත හොත් අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර විසින් ගොනු කළ පෙත්සම අද විභාගයට ගැනුනා. ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සරනි ආටිගල ඉදිරියේයි.

අදාළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ මිනී මැරුම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අගෝස්තු මස 30 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරුණා.

මෙම අපේක්ෂිත ඇප පෙත්සම මගින් කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙන්නේ මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

2013 වසරේදී තමන් සිය තනතුරෙන් විශ‍්‍රාම ගත් අතර ඉන් පසු වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් ගබඩා කර තිබු ශීතකරණයෙන් වෙනත් ශීතකරණයකට මාරුකර ඇති බවත්, ඔහු පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

මෘත ශරීරයේ කොටස් අතුරුදන් වී ඇත්තේ එම අවස්ථාවේදී බවයි ඔහු පෙන්වා දෙන්නේ. පෙත්සම අගෝස්තු 30 වැනිදා යළි කැඳවීමට නියමිතයි.