Wednesday, March 26, 2025

General line - 0115112241

දිස්ත්‍රික්ක 07කට නිකුත් කළ නාය යෑමේ අවදානම තවදුරටත් - කොළඹ වසා දැමූ මාර්ග යළි විවෘත කෙරේ

සමන් පාලිත නානායක්කාර



දිස්ත්‍රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අවදානම් නිවේදනය අද පස්වරු 04 දක්වා තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

අදාළ දිස්ත්‍රික්කවල නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. 

මේ අතර, හපුතලේ ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ බලපෑ තද සුළං තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

එහිදී නිවසේ සිටි කාන්තාවක් මිය ගිය බවයි නෙත් නිවුස් හල්දුම්මුල්ල වාර්තාකරු සමන් පාලිත පැවසුවේ.  

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අනතුරු වළක්වාගැනීම වෙනුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රදේශයේ වසා දමන ලද මාර්ග අද උදෑසන යළි විවෘත කළ බව පොලීසිය පවසනවා. 

ඒ අනුව, කොළඹ බ්‍රේබෲක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, පෙරහර මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා ඊයේ රාත්‍රියේ වසා දැමූ මාර්ග අද උදෑසන යළිත් විවෘත කළ බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.