Wednesday, March 26, 2025

General line - 0115112241

විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කරයි

උදය කුමාර



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කළා  

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ එම් ටී වී චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් ඍජුවම උල්ලංඝනය වන බව සඳහන් කළා.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන අතර එය ජනමතවිචාරණය සදහා යොමු කිරිම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. 

මෙම පනත් කෙටුම්පත හරහා යම් පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ගෙන සාධාරණ විවේචනයක් ඉදිරිපත් කිරීම පවා මහජන නොසන්සුන්තාව මතුවන අදහසින් කටයුතු කිරීමක් ලෙස අර්ථකතනය තිබෙනවා.

එය දඩුවම් ලැබිය හැකි වරදක් ලෙසත් දක්වා ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

එම චෝදනාවට වැරදිකරු වන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක දක්වා දඩයක් සහ මාස තුනක් දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකියාව තිබෙනවා.

එය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කිරීමක්. මේ හරහා ජනතාවට සාධාරණ විවේචන සිදු කිරීමට තිබෙන අයිතිය කප්පාදු කෙරෙන බවද ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ විවිධ පුද්ගලයින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීති විරෝධී ලෙස දුරකථන සිම්පත් ලබාගෙන අපරාධ  ක්‍රියාවල නිරත වීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි නිති ප්‍රතිපාදන  පැනවීමට තීරණය කර ඇති බවයි.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණා.