Monday, February 24, 2025

General line - 0115112241

කොළඹ වරායට ආ ඉන්දීය නැවක් ශ්‍රී ලංකාවේ භාරයට



කොළඹ වරායට ඉන්ධන රැගෙන ආ නෞකාවකින් ඉන්ධන පොම්පගත කිරීමේදී කාන්දුවක් සිදුව තිබෙනවා.

කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට දිවෙන් භූගත නලයකයි මෙම කාන්දුව සිදුව ඇත්තේ.

භූගතව සිදු වුවද මේ වන විට කාන්දු වන ඉන්ධන පොළොව මතුපිටට පැමිණ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙලෙස කාන්දු වී ඇත්තේ ඩීසල් ඉන්ධන බවයි. 

කාන්දුව සිදුවන බවට ඊයේ දින හඳුනාගත් මොහොතේ සිට ඉන්ධන මුහුදට කාන්දු වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමද ආරම්භ කර තිබෙනවා.

කාන්දු වන ඉන්ධන එක්රැස් කිරීමේ කටයුතුද මේ වන විට ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් කාන්දුව සිදු වන්නේ පොළොව අභ්‍යන්තරයේ බැවින් ස්ථානය හඳුනාගැනීම අපහසු වී ඇති බවටයි වාර්තා වන්නේ.

කාන්දු වන ස්ථානය හඳුනාගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් මේ වන විටද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

මේ අතර කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය නෞකාවක් ද සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ඉන්ධන කාන්දුව ඉකුත් සෙනසුරාදා සිදුවූ බවයි.

මෙලෙස කාන්දු වූ ඉන්ධන මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ මීටර් 20ත් 30ත් අතර ප්‍රදේශයක පැතිර ගොස් ඇති බවද ඔහු පැවසුවා. 

කෙසේවෙතත් අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනතට අදාළවයි.

ඒ යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 15ක පමණ වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසුවා. 

මෙලෙස ඉන්ධන කාන්දු වී ඇත්තේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවක ඉන්ධනයි.  

මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් සිදුවී ඇති බවයි.

එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.