Monday, February 24, 2025

General line - 0115112241

වසර දෙකකට පෙරාතුව රට තිබුන තැනයි අද රට තිබෙන තැනයි අතර පැහැදිලි වෙනසක් තිබෙනවා - ආශු මාරසිංහ



පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අද (2024/05/30)සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූවා.

''වසර දෙකකට පෙරාතුව රට තිබුන තැනයි අද රට තිබෙන තැනයි අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි කාලගුණය කෙතරම් හරස් වුවත් ජනතාව අවුරුදු උත්සවය සැමරුවා වෙසක් උත්සවය ඉතාම උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා. වසර හතරකට විතර පෙරාතුව ඇතිවුණු මේ වෙනස ජනතාවට හොඳින් දැනිලා තිබෙනවා. ඔවුන් තේරුම් අරගෙන තිබෙනවා. ඍන මිලියන 895 ක් වෙච්ච ප්‍රාථමික ගිණුමේ ශේෂය 2023 දෙසැම්බර් 31 වන දා වන විට ධන මිලියන  53 ක් ලෙස සටහන් කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්නට පුළුවන්.

ඒ වගේම මුළු ලෝකයම මේ සිදුවුණු වෙනස ඉතාම සුබවාදී විදිහට දකිනවා පමණක් නොවෙයි පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුකළා.නමුත් තවදුරටත් විපක්ෂය මේ දෙස අසුභවාදී කෝණයකින් බලන බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම සුභ සාධන  අවශ්‍යතා නිවැරදිව වටහාගෙන ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීම පහල ආර්ථික මට්ටම්වල සිටින අයට සහල් ලබා දීම,  නැවත සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම, බැංකු පොලී අනුපාතය පහල දැමීම, ඒ වගේම නව ව්‍යාපාර ආරම්භ කරන අය වෙනුවෙන් සීයට හතක පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම ආදී ප්‍රගතිගාමී වැඩසටහන් ක්‍රියාත්මක වෙනවයි කියන්නෙම මේ රට හිටපු තැනින් විශාල ඉදිරි පිම්මක් පැනල තියෙනවයි කියන එක මේ රටේ සියලු දෙනාටම වටහා ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ජනතාව බලාපොරොත්තු වුණු ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ ඉවත් කරපු දූෂණ සහ අල්ලස් නඩු අසූ නමයක් නැවත විභාග කිරීම ආරම්භ කරලා තිබෙනවා. දැන් ෆයිල් තියෙනවයි කියලා කෑගහන අයට මෙන්න මේවා හොඳ උදාහරණ කියන එක මතක් කරදිය යුතුයි. ඒ වගේම ලංකාවේ ප්‍රථම  වතාවට ඇමතිවරයෙක් දැන් හිරගෙදර ඉන්නවා. අධිකරණයට  බලපෑමක් කරන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම දූෂණය වැළැක්වීමට  අවශ්‍ය පනත සම්මත කරගෙන තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය  2020 වසරට පෙර තිබූ තත්ත්වයට නැවත පැමිණ තිබෙනවා. ඒ නිසා තමයි ජනතාව නැවත කතාබහ කරන්නට පටන් අරන් තිබෙන්නේ මේ ජනාධිපතිතුමාම ඉදිරියටත් මේ රට පාලනය කළ යුතුයි කියලා. ඒ නිසාම තමයි අනුර කුමාර දිසානායක  මහත්මයත් ජනාධිපතිතුමා යන පාරේම ඉදිරියට යා යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක සඳහන් කළ යුතුයි. වැරදිලාවත් අත්හදා බලන්නට යන්නට එපා. අත්හදා බලන්නට ගියොත් මේ රට නැවත ඇදගෙන වැටෙනවා ඒක නවත්තන්නට බැහැයි කියන එක අපි සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි.

ඒ වගේම ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටයි. ඒ අනුව සියලු දෙනාටම පොදුවේ ඔහුට සහාය දැක්විය හැකි වේදිකාවක් අපි නිර්මාණය කරනවා. මේ රටේ බිම තිබෙන්නේ බඩගින්නේ සටනයි. වේල් තුනම කාලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන හොඳ ජීවිතයක් ගත කිරීම තමා මේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාව වන්නේ. එනිසාම තමයි ඊළඟ අදියරේදීත් මේ ජනාධිපතිවරයාම පත්කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ කියන එක සඳහන් කළ යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙනවයි කියන එක එතුමාගේ ක්‍රියාකලාප වලින් මනාව ඔප්පු වෙනවා. එතුමා පාර්ලිමේන්තුවට එනවා.ඒ පාර්ලිමේන්තුවේ බලයට අදාළව යන පනත් සම්මත කරගන්නට පාර්ලිමේන්තුවට ඉඩ දෙනවා. මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරනවා. එවැනි පාර්ලිමේන්තුවත් එක්ක ඉතා  සමීපව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකපු ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ කියන එක අපි පසුගිය කාල පරිච්ඡේදයේ හිටපු ජනාධිපතිවරුන්ගේ ක්‍රියාත්මක  වීම් ස්වරූප තුළින් අත් දැකලා තිබෙනවා''