ශ්‍රී ලංකා විදේශ සේවයේ තුන්වන ශ්‍රේණියට අයදුම්කරුවන් 40 දෙනෙකු බඳවා ගැනීමට නිර්දේශ කළ ද සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් තෝරාගෙන ඇත්තේ අයදුම්කරුවන් 20 දෙනෙකු පමණක් බවට චෝදනා එල්ල වනවා.
2021 අප්‍රේල් මස 09 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ පළවූ දැන්වීමකට අනුව පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ඇති අයදුම්කරුවන්ට අදාළ විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.
ඒ අනුව අදියර දෙකක ලිඛිත විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බවයි එම විභාගයට පෙනී සිටි අසාධාරණයට ලක් වූ අයදුම්කරුවන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එම විභාගයේ ප්‍රතිඵල මත අයදුම්කරුවන් 40 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ද නිර්දේශ කර තිබෙනවා.
එහෙත් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් තෝරාගෙන ඇත්තේ අයදුම්කරුවන් 20 දෙනෙකු පමණක් බවයි වාර්තා වුණේ.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවයේ තුන්වන ශ්‍රේණියේ මේවන විට පුරප්පාඩු 100ක් පමණ ඇති පසුබිමක් තුළයි.
ඒ අනුව විභාගය සමත් අයදුම්කරුවන් 117 දෙනාගෙන් 20 දෙනෙකුට පමණක් පත්වීම් ලබාදීමට ආණ්ඩුව සූදානම් වන්නේ ඉතිරි තනතුරු සඳහා වෙනත් ක්‍රම මඟින් මැති ඇමතිවරුන්ගේ ඥාතීන් පත්කිරීමට බවද සාධාරණ සැකයක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගෙන් විමසීමක් කළා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යංශයේ පවතින ප්‍රතිපාදන යටතේ 20 දෙනෙකු පමණක් බඳවා ගැනීමට තීරණය කළ බවයි.
විදේශ සේවය සඳහා පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විදේශ සේවයේ පත්වීම් සඳහා දේශපාලන බලපෑම් මත කටයුතු නොකරන බවයි.