Tuesday, February 25, 2025

General line - 0115112241

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි. දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අවදානම තවදුරටත්



බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සැලකිය යුතු අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණි කිහිපයක් වන කළු, කැළණි, ගිං සහ නිල්වලා ගංවතුර අවදානමක පත්වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් මතුගම, අගලවත්ත මාර්ගය ද ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න  පිවිසුම ද ජලයෙන් යටවීම හේතුවෙන් එම පිවිසුම් මාර්ගය ද මේවන විටත් වසාදමා තිබෙන බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කළේ.