Tuesday, February 25, 2025

General line - 0115112241

ගත වූ පැය 24 තුළ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 07ක් දක්වා ඉහළට



ඊයේ රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අවිස්සාවේල්ල, පුවක්පිටිය, එළස්ටන් වත්ත නිවසක සිටි එකම පවුලේ තිදෙනෙකු ගංවතුරට හසුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පොලිසිය සඳහන් කළේ එහිදී එම නිවස තුළ සිටි 78 හැවිරිදි පියා සහ 36 හැවිරිදි දියණිය සහ 07 හැවිරිදි මිණිබිරිය එලෙස මියගොස් ඇති බවයි.

එමෙන්ම අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේ පස් කන්දකට යටවී 11 හැවිරිදි දැරියක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පල්ලෙවෙල, දෙයියන්දර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවස තුළ සිටි පුද්ලයින් දෙදෙනෙකු පස් කන්දට යටවී මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක සහ 27ක පිරිමි පුද්ගලයින් බවයි.

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින් සිටින බවයි නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මේවන විටත් ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් අනියුක්ත කර තිබෙන බවයි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේගේ උපදෙස් මත ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශවලට ද යුද හමුදා කණ්ඩායම් මේවන විටත් ස්ථානගත කර තිබෙන බවයි.