Tuesday, February 25, 2025

General line - 0115112241

අදත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ටී කේ මහින්ද



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළකළා.


හංවැල්ල සහ ඒ අවට මෙන්ම කැළණි ගඟෙන් පහළ ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වය අද දිනයේත් පැවැතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර පැවසුවේ.


මේ, මාතර දිස්ත්‍රික්කයේ නවතම තොරතුරු පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.


මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ පවසන්නේ මේ වන විට පවුල් 2,731ක පුද්ගලයින් 10,937ක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි.

නිවාස හානි 150ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 05ක පවුල් 21ක පුද්ගලයන් 123 දෙනෙක් රැදෙමින් පහසුකම් ලබයි.

ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය ඕනෑම සේවයක් ලබාදීම වෙනුවෙන් තමන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර වැඩි අවධානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන, අයගම, කිරිඇල්ල, නිවිතිගල සහ ඇහැළියගොඩ හඳුනාගෙන තිබනවා. දැනට පවුල් 2,574ක පුද්ගලයින් 9,398 දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

එයින් ආරක්ෂක ස්ථාන 18ක පවුල් 528ක පුද්ගලයින් 2,219 දෙනෙක් රඳවා සිටින බවයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පැවසුවේ.

මේ අතර ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ටී. රාජකරුණා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 අතුරින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, බද්දේගම හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 වෙත වැඩි අවදානමක් පවතින බවයි. 

මේ වන විට නෙළුව ආශ්‍රිතව බලපෑම අඩු වීගෙන යන බවද ඇය පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1,348ක පුද්ගලයින් 3,455ක් පීඩාවට පත්ව සිටිනවා.

එක් ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 250ක පුද්ගලයන් 608 දෙනෙක් සඳහා මේ වන විට සියලු පහසුකම් සලසා ඇතැයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 943ක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින අතර අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,539ක්.

ආරක්ෂිත ස්ථාන 30ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර පවුල් 606ක පුද්ගලයින් 2,274 දෙනෙක් පහසුකම් සහිතව රැදී සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පමණක් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 1,716ක පුද්ගලයන් 6,839 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා.

ආරක්ෂිත ස්ථාන 07ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු විසින් කටයුතු කර ඇති අතර ඒවායේ පවුල් 58ක පුද්ගලයන් 215 දෙනෙකු රැදී සිටින බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර පැවසුවා.