Tuesday, February 25, 2025

General line - 0115112241

අද වැසි අඩු වුණත් ගංවතුර තත්ත්වය එලෙසම

බිමල් ශ්‍යාමන්



පෙර දිනවලට සාපේක්ෂව අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩුවීමක් එලෙස අපේක්ෂා කරන බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.


දිවයින වටා වන මුහුදු තීරයේ කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු අදහස් පළකළා. 


තද වැසි පිළිබඳ කඩිනමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු තාක්ෂණය ප්‍රමාණවක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්නයක් ද යොමු කළා.

මේ අතර, ප්‍රධාන ගංඟාවන්හි පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අද දිනයේද එලෙසම පැවතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර පැවසුවේ.

මේ අතර ගංවතුර තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු අද පෙරවරුවේ යළි විවෘත කෙරුණා.

ඒ අනුව සාමාන්‍ය පරිදි එම පිවිසුම හරහා වාහන ධාවනය සිදුව ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

එම අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් පසුගිය පළමුවනදා පස්වරුවේ සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමුනා.

කෙසේවෙතත් ගංවතුර හේතුවෙන් තවදුරටත් කඩුවෙල පිවිසුම් මාර්ගය වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.