කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයේ ධාවනය කළ එම බස්රථ රියදුරා ලබන 14වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
වයස අවුරුදු 39ක් වන පිනාගේ ලයනල් පෙරේරා නම් වූ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදීයි.
අදාළ සැකකාර රියදුරා ඊයේ දිනයේ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති අවස්ථාවේ එලෙස දුම්රිය මාර්ගයේ බස්රථය ධාවනය කර තිබුණා.
ඊට අදාළ වීඩියෝවක්ද නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කෙරුණා.
එම බස්රථය එලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ සීතාවක කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ අවිස්සාවේල්ල පොලීසියට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානය කර බස්රථය ධාවනය කර ඇති බවයි.
එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය මීට පෙර අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම,
පොලිස් අණ නොතකා බස්රථය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය සහ පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරූ බවයි පොලීසිය පැවසුවේ.