Tuesday, February 25, 2025

General line - 0115112241

මහින්දානන්ද සමග ගැටුණු ගුණතිලක රාජපක්ෂට සැත්කමක්

කමල් සුරවීර



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙපළ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ පඩිපෙළකදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර නැවත උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා හැඳ සිටි කමිසයේ කොළරයෙන් අල්ලා ඇද ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සිදුවීමෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයක් තුවාල වී ඇති බවත් අද දිනයේ මන්ත්‍රීවරයාට පැය 04ක පමණ ශල්‍ය කර්මයක් සිදු කළ බවත් ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ පැවසුවා.

මේ වන විට ඔහු යුද හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන්ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන් සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර වචන හුවමාරුවක් සිදු වුවද තමන් කිසිවිටෙකත් ඔහුට පහර නොදුන් බවයි.

තමන් සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුව සිදු වන අවස්ථාවේ එය පාලනය කිරීමට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මැදිහත් වූ බවත් ඔහු කියා සිටියා.

එම අවස්ථාවේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුපසට ඇද ගැනීමට මන්ත්‍රීවරුන් උත්සහ දැරීමේදී ඔහු ඇද වැටීමෙන් තුවාල ලැබූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.