Tuesday, February 25, 2025

General line - 0115112241

නිල්වලා සහ ගිං ගංගා ගැන යළි අනතුරු ඇඟවීමක්



නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් යළි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ඉදිරි පැය 48ක කාලය සඳහායි.

දැනට නිල්වලා හා ගිං යන ගංගා ද්‍රෝණිය තුළ පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියද ගංවතුරේ බලපෑම ඇතැම් ස්ථානවල තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහ ජනතාවට දැනුම් දෙනවා.

කළු ගඟේ පටුපාවුල හා මිල්ලකන්ද යන ප්‍රදේශවල පැවති මහා ගංවතුර මේ වන විට අඩුවෙමින් පවතිනවා.

ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේ පැවති මහා ගංවතුරද අඩුවෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පසුගිය දිනවල ඇදහැලුණු මිලිමීටර් 400ක තරම් දරුණු වර්ෂාපතනයක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු දත්ත තවමත් ප්‍රමාණවත් නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.  

අද දිනයේද ප්‍රදේශ රැසකට සුළු වැසි ඇදහැළෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.