Tuesday, February 25, 2025

General line - 0115112241

දිනය අද - සජිත්, අනුර විවාදය අදත් නැහැ



සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක පාර්ශව අතර නායක විවාදය අද දිනයේදීද නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

දෙපාර්ශවය අතර විවාදයක් වෙනුවෙන් මීට පෙරද විවිධ දින ප්‍රකාශයට පත් වුවද අවසානයේ තීරණය වුණේ අද දිනයේ විවාදයක් පැවැත්වීමටයි.

ඒ, අද දිනය සඳහා දෙපාර්ශවයම එකඟ වීම හේතුවෙන්.

ඒ අනුව නායක දෙපළ අතර අද දිනයේදී විවාදයක් සිදු වන්නේදැයි නෙත් නිවුස් දෙපාර්ශවයෙන්ම විමසීමක් කළා. 

සමගි ජනබලවේගය එහිදී පැවසුවේ බොහෝ දුරට අද දිනයේ විවාදයක් නොපැවැත්වෙන බවයි.

නායක දෙපළ අතර විවාදයෙන් පසු ආර්ථික කමිටුව අතර විවාදය පැවැත්විය යුතු බවට තම පාර්ශවයෙන් කළ දැනුම් දීමට ජාතික ජනබලවේගය මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව විවාදයක් පැවැත්වීමට කිසිදු සූදානමක් අද නොමැති බව සමගි ජනබලවේගය පවසනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ශවය පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අද දිනයේ වුවද ඕනම අවස්ථාවක විවාදය පැවැත්වීමට තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සූදානමින් පසුවන බවයි.

කෙසේවෙතත් අද විවාදයක් නොපැවැත්වුවහොත් යළි විවාදයක් සිදු නොවන බවටයි ජාතික ජනබලවේගය මීට පෙර පවසා තිබුණේ.