Tuesday, February 25, 2025

General line - 0115112241

රියදුරු වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 43ක් අවලංගු වෙයි - පස්වරුවේත් දුම්රිය මගීන් පීඩාවේ



දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර 43ක් අවලංගු වී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය මගීන් අද පස්වරුවේ ද පීඩාවට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිටයි.

දුම්රිය ධාවනාගාර පහක රියදුරන් එම සංගමය නියෝජනය කරනු ලබනවා.

එහෙත් වර්ජනයේ නිරත වන්නේ දුම්රිය ධාවනාගාර දෙකක රියදුරන් පමණයි.

තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක අදහස් පළකළා.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ප්‍රකාශ කළද එම සංගමයේ සභාපතිවරයා පැවසූවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිය සංගමයේ විධායක කමිටුව රැස්ව තීරණයක් නොගත් බවයි.

එය වෘත්තීය සමිති නීතිරීතීවලට පටහැනිව සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් ඔහු කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායකගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සමස්ත දුම්රිය රිදුරන් සහභාගී වී නොමැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලින් සිදුවන්නේ ජනතාව මත තවත් බර පැටවීම බවයි ඔහු පැවසුවේ.

ජනතාව දුෂ්කරතාවයෙන් මුදාගැනීමට සියලු වෘත්තීය සමිතිද ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර දුම්රිය රියදුරන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවද අද රාත්‍රියේ සියලු තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.