Tuesday, February 25, 2025

General line - 0115112241

දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත් - අදත් දුම්රිය අවලංගු වනු ඇති බවට වර්ජනයේ නිරත රියදුරන් කියයි



දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, අද දිනයේ ද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වනු ඇතැයි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පැවසුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටයි.

ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 43ක් අවලංගු වුණා.

මේ හේතුවෙන් දුම්රිය මගීන් පීඩාවට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේවෙතත් සිය ගැටළුවලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරත වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.


සිය ඉල්ලීම් සඳහා බලධාරින්ට පහසුවෙන් විසඳුම් ලබාදිය හැකි බවයි ඔහු පැවසුවේ. 


දුම්රිය ධාවනාගාර පහක රියදුරන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය නියෝජනය කළද මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ වී ඇත්තේ ධාවනාගාර දෙකක රියදුරන් පමණයි. 

කෙසේවෙතත් එම රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූවද දුම්රිය ධාවනයට දැඩි බලපෑමක් එල්ල නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

රාත්‍රී සියලු තැපැල් දුම්රිය ඊයේ රාත්‍රියේ ධාවනය වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.