Wednesday, February 26, 2025

General line - 0115112241

2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් වෙනුවට අතුරු සම්මත් ගිණුමක් - මුදල් රාජ්‍ය ඇමති කියයි 

නිහාල්සිරි ගම්ලත් 



2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්,  මීට පෙරද එවැනි අවස්ථාවලදී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ 

2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින් , 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත් , එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරණය අභිමුව තිබියදී වඩාත් ආකර්ශනීය යෝජනා ඇතුළත් කොට ඊළඟ වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට රජයට ඕනෑ  තරම් අවස්ථාව ඇතත් ලොව පිලිගත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආර්ථිකය සහ දේශපාලන , ආර්ථිකය සහ ඡන්ද ව්‍යාපාරය පටලවා නොගෙන මේ ආකායෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම  ඉතාමත් වැදගත් ක්‍රියාවක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය  එහිදී පවසා සිටියා.