රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු, මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේදී වැඳ සමාව ගත්තා.
ඒ අනුව අදාළ ආරවුල සමථයට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරයද ඉල්ලා අස්කර ගැණුනා.
එමෙන්ම පෙත්සම්කරුට ඉදිරියේදී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවටයි වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අධිකරණය හමුවේ එකඟතාවය පළ කර ඇත්තේ.
මාධ්‍යවේදී සරත් විමලරත්න විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ලබා දුන්නා.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟවන බවත් දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි - අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය විවෘත අධිකරණයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගෙන තිබෙනවා.
එම සිද්ධිය සිදුව තිබුණේ 2019 වසරේ මැයි මස 29 වනදායි.