Saturday, March 29, 2025

General line - 0115112241

මන්ත්‍රී ඩලස්, ආබාධ සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට



ආබාධ සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර මූලස්ථානදී පවත්වා තිබෙනවා 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාව වෙනුවෙන්ම නිර්මාණය වූ සංසදයේ  සභාපතිවරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු ආබාධ සහිත ප්‍රජාව ගේ නියෝජිතයන් සහ ලොව පුරා රාජ්‍ය නායකයන්, මහජන නියෝජිතයන් මෙන්ම තානාපතිවරුන් මෙම සමුළුවට  සහබාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට සහභාගී වූ මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තබා ඇත්තේ මෙලෙසයි .

ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත් සටහන පහතින් 

" ලෝක දින දර්ශනයට අපූරු දවසක් වුණා. ආබාධ සහිත ප්‍රජාව ගේ නියෝජිතයන් සහ ලොව පුරා රාජ්‍ය නායකයන්, මහජන නියෝජිතයන් මෙන්ම තානාපතිවරුන්ගෙන් එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර මූලස්ථානය පිරී ඉතිරී ගියේ ශීලාචාර ලෝකයක අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින්. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාව වෙනුවෙන්ම නිර්මාණය වූ සංසදයේ  සභාපතිවරයා විදිහට  මටත් මේ දිනය ඓතිහාසික සිහිවටනයක් වුණා.  

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මැතිතුමා ගේ පරිණත සහ බහුශ්‍රැත නායකත්වය, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපගේ හඬට ගෙන දුන්නේ  විශාල වටිනාකමක් සහ ගෞරවයක්.  නියෝජ්‍ය තානාපති සුගීශ්වර ගුණරත්න මහතා මුලසුන උසුලන සැසියකින් අද විශේෂ සාකච්ඡාව ආරම්භ වීම  ශ්‍රී ලංකාවට තවත් අපූරු  වටිනාකමක් එකතු කළා. 

එජා සංවිධානයේ සභාපති සහ නියෝජ්‍ය මහලේකම් අමීනා මොහමඩ් මහත්මිය  ප්‍රමුඛ මහා මණ්ඩල නිලධාරීන් මෙන්ම ලොව පුරා රටවල් 184ක නියෝජිතයන් සමඟ තව දින දෙකක් මහා මණ්ඩලය තුළ ගත කරන කාලය, නිසැකවම මානව වංශ කතාවේ ශිෂ්ඨ සම්පන්න අනාගතයක් වෙනුවෙන් කරනු ලබන ස්වර්ණමය ආයෝජනයක් බව අවිවාදිත සත්‍යයක්.

හෙට, (ජූනි 12) මට ජීවිතයේ විශේෂ දවසක්. ඒ, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ජනතාව ගේ  "නිහඬ හඬ"  බිලියන අටක මානව වර්ගයා වෙත සන්නිවේදනය කිරීමේ වගකීම මා වෙත පැවරී ඇති නිසා."