Thursday, February 27, 2025

General line - 0115112241

අල්ලස් ගත් රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට වැඩ වරදී



අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් අදාළ පුද්ගලයාගෙන් පළමුව රුපියල් ලක්ෂ 04ක මුදලක් ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ 02 දක්වා අඩුකර අක්කරෙයිපත්තුව වාරිමාර්ග කාර්යාලය තුළදී ලබාගත් අවස්ථාවේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඉන් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ කාර්යාල කම්කරුවා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කණින ලද වැලි හා පස් වාරිමාර්ග කාර්යාලයට අයත් කලපු හා කුඹුරු ඉඩම්වලට බෑම නීති විරෝධී බවට පවසා ඒ සඳහා ප්‍රදේශයේ ඇති වෙනත් රජයේ ආයතනවලද සහය ලබාගෙන නීති මඟින් කටයුතු නොකර සිටීමට සැකකරුවන් විසින් මෙලෙස අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.