රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර, ගොඩගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි 53කට අනුවයි.
සැකකරු විසින් වංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 130ට අධික බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී තිබෙනවා.
යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීති විරෝධි අයුරින් පවත්වාගෙන ගොස් ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
රැකියා නියෝජිතායතනයේ හිමිකරු කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය පිළිබඳ සොයා බැලීමක් සිදුකරන ලෙසයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට යලිත් දැනුම් දුන්නේ.
ඒ අනුව විදේශ රැකියා සඳහා බදවාගැනීමට එම ආයතනයට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සිදුකරන ලෙසද ඉල්ලීමක් කළා.
කාර්යාංශයේ අඅඅගිකඉfැගකන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් ජනතාවට අදාළ තොරතුරු ලබාගත හැකි බවද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවා.