Thursday, February 27, 2025

General line - 0115112241

සුදුමැස්සා තැඹිලි අපනයනය සියයට 36කින් අඩු කරයි



පසුගිය කාලය තුළ දිවයිනේ පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ හානිය දිවයිනේ තැඹිලි වගාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

විශේෂයෙන් සුදු මැස්සා කහ  වර්ණයට දැඩි ආකර්ශණය වීමක් දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

මෙම හානිය හේතුවෙන් තැඹිළි අපනයනයෙහි සියයට 36ක අඩු වීමක් සිදුව තිබෙනවා. 

පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය  සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතුවූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවැති සාකච්ඡාවකදී පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් පෙන්වා දී ඇත්තේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය 2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම හේතුවෙන් සිදුවීමට තිබූ විශාල වගා හානියක් වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ මේ වනවිට පවතින වර්ෂාව හේතුවෙන් සුදුමැස්සාගේ ව්‍යාප්තිය විශාල ලෙස අවම වී ඇති නිසා පොල් හා තැඹිලි වගාව යථා තත්ත්වයට පත් වෙමින් ඇති බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දෙනවා. 

කෙසේවෙතත් තැඹිලි අපනයනය කිරීම නිසා ගොවීන්ට විශාල ආදායමක් ලැබෙන බැවින් තැඹිලි පැළ සකස් කර ගැනීම සදහා අවශ්‍ය පැසුනු තැඹිලි හිඟයක් ද මේ වනවිට නිර්මාණය වෙමින් පවතිනවා.

එමනිසා සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් යටතේ  දිස්ත්‍රික්කයකින් එක් ව්‍යාපෘතියක් බැගින් තැඹිලි පැළ සැකසීමේ වගා ව්‍යාපෘතියක් වහා අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව එක් ගෙඩියක් අමෙරිකානු ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250කට වැනි මුදලකට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබනවා.