ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික අංගයක් වන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. පරිත්‍යාගශීලී සහ කැප කිරීම්වලට මුල්තැන දෙමින් හජ් උත්සවය සැමරිය යුතු බවයි තිහාරිය ඊබ්‍රහීම් මස්ජිදයේ ප්‍රධාන උපදේශක මව්ලවි අශ් ෂේයික් මුනීර් මුලෆ්ෆර් පැවසුවේ.
මේ අතර ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එහි උතුම් වූ පරමාර්ථය මුල්කර ගනිමින් වසරක් පාසා ඉස්ලාම් ජනතාව හජ් උත්සවය සමරන බවයි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමුහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම අද සිදුවනවා.
ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එකම අරමුණක බැඳී මනුෂ්‍යත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට සියලුදෙනා එක්වන ප්‍රීතිමත් හජ් සැමරුමකට ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාවට සුභාශීංසන එක් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ හජ් සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය වන්නේ සමානාත්ම තාවයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීම බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට පටු භේද අතහැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් ජීවති වීමට හජ් උත්සවය යෙදී ඇති අද දිනයේ අදිෂ්ඨාන කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ආගමක් තුළින් අපේක්ෂා කරණුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කළ යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සෑම ආගමකම, සංස්කෘතියකම සිදුවන මෙවැනි සැමරුම් මගින් අපට සිහිපත් කරනුයේ එකී යහපත් අරමුණ බවයි හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම මේ තුළින් ප්‍රතක්ෂ කර පෙන්වා දෙන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.