Friday, April 18, 2025

General line - 0115112241

පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

උදය කුමාර



පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 ක් අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා. එම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු , කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙය ඉතා හදිසි ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවත් ඒ පිළිබඳව කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාල පෙත්සම් කරුණු සලකා බැලීම සඳහා ලබන මස 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කරනු ලැබූ අයෙකු බවත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද ඔහුට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවන් කියා සිටිනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතියට පටහැනි බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.