Sunday, March 30, 2025

General line - 0115112241

බුදු දහම ආරක්ෂා කරන බවට ජනපතිගෙන් සහතිකයක්



බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන, සමාජ, සංස්කෘතික සංවාදය ද බිහි වූයේ පොසොන් පොහොය දිනයේ මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බවයි පොසොන් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ අනුව මිහිදු මහරහතන් වහන්සේ මෙරට රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ ආදර්ශයක් බවට පත්කර ගත යුතුයි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකාව පත්කර ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැගීමට ඉවහල් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පොසොන් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

පොසොන් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

බෞද්ධ ජනයාගේ සුවිශේෂී දිනයක් වූ පොසොන් පොහොය ජාතිය වටා නිර්මල ආගමික දර්ශනයක් පොබ කරමින් වසර දහස් ගණනක් පැවැති කෘෂිකාර්මික අර්ථ ක්‍රමය වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පයෙන් අර්ථ ගැන්වූ යුගයක ආරම්භය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

එමෙන්ම ආගමික, ශාසනික, සංස්කෘතික, ආධ්‍යාත්මික, පාරිසරික, සමාජීය හර පද්ධතීන් පමණක් නොව නවමු සංකල්පයන් රැසක් සමාජ ගත කළ වකවානුවක් ද වනවා.

උතුම් ගුණ ධර්ම පෙරදැරි කොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළ ගැසෙමු යැයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පොසොන් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර පොසොන් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් විපක්ෂ නායකවරයා ද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

බුදු දහමේ ආභාෂයත් ශිල්පීය දැනුමත් එකට මුසුකර ගනිමින් ධාර්මිෂ්ට පාලනයක් ගෙන යාමට අතීත රජ දරුවන් කටයුතු කර ඇති බවට ඉතිහාස ගත සාක්ෂි ඇති බව විපක්ෂ නායකවරා පෙන්වා දෙනවා.