Sunday, March 30, 2025

General line - 0115112241

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා සිසුන්ගෙන් මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා, සංචාරක වීසා යටතේ එරටට සිසුන්  රැගෙන ගොස්, ඔවුන්ගේ මුදල් වංචා කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු කටාන ප්‍රදේශයේ සිසුවෙකු රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලකි ලැබී තිබෙනවා.

එමෙන්ම සැකකරුට එරෙහිව මාතර මූලස්ථානය පොලිසිය වෙත පැමිණිලි 17ක්, කුරුණෑගල පොලිසියට පැමිණිළි 03ක්, කුලියාපිටිය පොලිසියට පැමිණිළි 02ක් සහ නාරාහේන්පිට පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊට අමතරව වාද්දුව, අම්පාර සහ මොරටුව පොලිසිවලට පැමිණිළි ලැබී තිබෙනවා.

සැකකරු විසින් රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇණ තුවාල සිදුකිරීම පිළිබඳ එරට පොලිසිය ඔහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග  එයින් මිදීම සඳහා දිවයිනට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.