හෙට දිනයේ රජයේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් හෙට දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සැලසුම් කර ඇති පසුබිමකයි.
අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ තම වෘත්තීය සමිති නියෝජිතයින් හෙට සහ අනිද්දා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවයි.
ඒ අනුව හෙට දිනයේදී මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේත් උතුරුමැද පළාතේ සහ වයඹ පළාතේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි ඔවුන් පැවසුවේ.
ලබන 25වන දින බස්නාහිර පළාතේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
සිය සේවකයින් සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති නියෝජිතයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කර සිටියේ.
මේ අතර එළඹෙන 26වන දින සියලුම ගුරු විදුහල්පති සහ ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසුවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි.