Friday, February 28, 2025

General line - 0115112241

දුර්ලභ පස් සාම්පල පෘථිවියට ගෙන ඒමේ චීනයේ සඳ ගමන සාර්ථක වෙයි



සඳ මතට ගොඩබැස්වූ චීනයේ චාන්ගි 6 යානය චන්ද්‍රයාගේ පස් සාම්පලයක් රැගෙන නැවතත් පෘථිවියට පැමිණ තිබෙනවා.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ ප්‍රධානී ෂැං කෙජියන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සඳ මත මෙහෙයුම සාර්ථකව අවසන් කල බවයි.

චාන්ගි 6 යානයේ කැප්සියුලය මොංගෝලියාවේ කාන්තාරයකට පතිත වී ඇති අතර, චීනයේ නිලධාරීන් සිය ධජය ළෙල දෙවමින් ඊට සුබ පැතුම් එක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මෙහෙයුම සඳෙහි ඈතින්ම පස් රැගෙන පැමිනි මෙහෙයුම බවට පත්ව තිබෙනවා.

එම පස් සාම්පල රොබෝ අතක් භාවිතයෙන් එකතු කර ඇති බවයි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කලේ.  මෙම සඳ මෙහෙයුම සඳහා දින  53ක පමණ කාලයක් ගත වී තිබෙනවා.

කෙසේවෙතත් සැලසුම් කල ආකාරයට අදාළ මෙහෙයුමේදී කිලෝග්‍රෑම් 2ක පස් සාම්පල රැගෙන පැමිණියේද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

එම ප්‍රමාණය කුමක් වුවත් චීනය සහ විදේශීය විද්‍යාඥයින් විසින් අදාළ පස් සාම්පල  විශ්ලේෂණය කර සඳ පිළිබඳ නැවුම් තොරතුරු හෙළි කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය විශ්වාසය පළ කර ඇත්තේ. 

මේ වන විටත් විශ්ලේෂණයන් සඳහා එම පස් සාම්පල ගුවන් මගින් බීජිං වෙත යවා තිබෙන බවද සඳහන්.  

මෙම ගවේෂණ යානය මැයි 3 වන දින ලෝන්ග් මාර්ච්  5 රොකට්ටුවක් මගින්  සඳ මතට යවා තිබෙනවා.

ඒ දකුණු දිග හයිනාන් දූපතේ වෙන්චැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය මගින්.