Friday, February 28, 2025

General line - 0115112241

මුතුරාජවෙල මායිම් ලකුණු කළ මිනුම්පතිගේ සිතියම අධිකරණයට

උදය කුමාර



මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළව මායිම් ලකුණු කරමින් රජයේ මිනුම්පතිවරයා විසින් සකස් කර තිබෙන සිතියම් සහ ඊට අදාළ වාර්තා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අද  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් පාරින්ද රණසිංහ මෙම දැනුම් දීම සිදුකළේ  මුතුරාජවෙල සුරැකීමේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ  අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළ රජයේ මිනුම්පතිවරයාගේ වාර්තාව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතර ඒවා මෙම නඩුකරයේ පාර්ශවකරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ  වාර්තාව අධ්‍යයනය කර සිය නිරීක්ෂණ අගෝස්තු මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කරු ඇතුළු පාර්ශව කරුවන්ට නියෝග කළා. 

මෙම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පෙත්සම සැප්තැම්බර් මස 24 වන දා යළි කැඳවන ලෙසද එහිදී නියෝග කෙරුණා.