ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට පැවැත්වෙනවා.
"දිනුම රටට - එක්ව පෙරට" යන තේමාව පෙරදැරි කොටගෙන මෙම ජන රැළිය පවත්වනවා.
වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසින් සංවිධානය කරනු ලබනවා.
නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබෙන බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව දැවැන්ත සන්ධානයක් ගොඩනැගීමට නව සන්ධානය ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසක් නව සන්ධානය වටා ඒකරාශී වීමට සූදානමින් සිටින බව නිමල් ලාන්සා පවසනවා.
මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතයි.