හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් අද නියම කළා.
ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින්.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළා.
එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බවයි.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පැවසුවේ මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවයි.
විත්තිකාරිය සිදුකර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසුවා.
විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කර සාමාන්‍ය වෙළෙඳ සැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නා.
මහජනයා විශ්වාසය තබා තෝරා පත් කරන ලද තැනැත්තියක් මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.
මෙය ඉතා බරපතළ කරුණක් වන අතර මෙය විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් සඳහන් කර සිටියා.
විත්තිකාරිය වරදක් සිදු කළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳව සමාජය දැනුවත් වන ආකාරයේ දඬුවමක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
එසේම යම් පුද්ගලයකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත්වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරයට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස්වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නා.
එබැවින් විත්තිකාරිය බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත් කෙරුණා.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.