ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 2024 එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවේදී.
ප්‍රචණ්ඩ ගැටුම් වැඩිවීම, ගැටුම් කලාපවල සිටින සිවිල් වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය, සයිබර් අපරාධ සහ ආයුධ සන්නද්ධ තාක්ෂණය වැනි සාම්ප්‍රදායික නොවන තර්ජන මතුවීම ඇතුළු ගෝලීය ආරක්ෂක අභියෝගවල සංකීර්ණත්වය සහ සංවිධානාත්මක අපරාධ සහ කල්ලි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඒවා අන්තර්ජාතික සාමයට ඇතිකරන අහිතකර බලපෑම සම්බන්දයෙන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී අවධාරණය කර සිටියා.
තවද අන්තර්ජාතික ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රකාශ කරමින් මෙරට පිහිටුවා ඇති පොලිස් ඒකකය කෙරෙහි අමාත්‍ය අලස් විශ්වාසය පළ කළේය.
සංවිධානාත්මක අපරාධ සහ කල්ලි ප්‍රචණ්ඩත්වයේ තර්ජනයන්ට මුහුණ දීම සඳහා විශේෂිත පොලිස් ඒකක යෙදවීම ගැන සළකා බලන ලෙස අමාත්‍යවරයා සිය දේශනය අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ.
එවැනි තර්ජනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ පළපුරුද්දක් ඇති පොලිස් නිලධාරීන් සහ අපරාධ අධිකරණ වෘත්තිකයන්ට සහාය වීමට හැකි විශේෂඥ දැනුම ඇති නිලධාරීන් යොමු කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවද පැවසුවා.
ශ්‍රී ලංකාව සමාන ආරක්ෂක අභියෝගවලට මුහුණ දෙන හවුල්කාර රටවල් සමඟ සිය දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියා.