Monday, March 3, 2025

General line - 0115112241

සමස්ත පාසල් පද්ධතියට ම ඉදිරියේ දී එක ම ගිණුම්කරණ මෘදුකාංගයක්



මෙරට සියළු ම පාසල්වල මුල්‍ය හා ගිණුම් කටයුතු නිවැරදි ව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම සඳහා එකම මෘදුකාංගයක් ඉදිරියේ දී හඳුන්වාදී මුල්‍ය අක්‍රමිකතා මගහැරවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ශ්‍රී ලංකා ගණකාධිකරණ වෘත්තීකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රශස්ත ම පාසල් වාර්ෂික වාර්තා ත්‍යාග
ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී
අමාත්‍යවරයා මේ බව පවාසා සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව සන්නිවේදන දියුණුවත් සමග ඉතා පහසුවෙන් එක
මෘදුකාංගයක් මගින් පාසල් වල ගිණුම් වාර්තා මාසිකවම සකසා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් වසර ගණන් විගණන ගැටළු වලට මුහුණ දීමේ අහිතකර තත්වයන් ගුරු භවතුන්ට එමගින් වලක්වා ගත හැකි වන බවයි.

තවද  පාසල්වල කාර්යාලයීය කටයුතු වෙනුවෙන් පත් කරනු ලබන නිලධාරියාට එම කාර්ය පැවරිය හැකි බවත් ඒ අනුව පාසල්වල ගිණුම් අක්‍රමිකතා වලක්වා ගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන නියමු වැඩ සටහනකින් අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හරහා සියළු පළාත් පාසල්වලට මෙන්ම සමස්ත පාසල් පද්ධතියට මෙම මෘදුකාංගය හඳුන්වා දී ඩිජිටල් කරණය කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.