ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු 92ක් සමග එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයින්ගේ සහයද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.
මේ බව අනාවරණ වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ඊට එක්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක එය ස්ථීර කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ද ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවටයි.
මේ, කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දාද මෙම රැස්වීමට එක්ව සිටියා.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙම රැස්වීමට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනයි.
පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්නද මීට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිස මේ වන විට ඉන් ඉවත් වී කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාද මෙහිදී අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ.
මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් දැක්වීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතුවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ස්තුතිය පළ කරමින්.
ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් බලය ඉල්ලා සිටින්නේ ඉදිරි වසර 05 වෙනුවෙන් බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේදී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් කිසිවෙක් මෙයට සහභාගී වී නැහැ.
එහෙත් අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මෙම රැස්වීමට එක්ව සිටි බව වාර්තා වනවා.
තමන්ට ඊයේ රාත්‍රියේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුම් දී ඇත්තේ.
රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය කංචන විජේසේකර මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම සහ ශෙහාන් සේමසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ එස් බී දිසානායක ද මෙහිදී අදහස් පළ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉකුත් දා පැවති විධායක සභාවේදී තීරණය කළේ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි.