Wednesday, March 12, 2025

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අද වැසි



නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද දිනයේත් දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.