Sunday, April 27, 2025

General line - 0115112241

රුපියල් හාර කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

ඔහු විසින් සිය ගමන් මල්ල තුළ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 388ක් පාර්සල් 05ක් ලෙස සකස් කර රැගෙන විත් තිබෙනවා. 

එලෙස රැගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වන බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පවසන්නේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.