2024 ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු කඩිනමින් අවසන් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඒ අනුව කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට කටයුතු සිදු කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණා.
ඒ අනුව කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා තීරණය කළ අතර අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් නොවැම්බර් මස 25 වනදා එය අනුමත කළා.
එහෙත් එම තීරණයට එරෙහිව විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබුවා.
ඒ, ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින්.
පුරා දින තුනක් තිස්සේ විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් 31 වනදා ප්‍රකාශ කළේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය සහ එය අනුමත කරමින් ඉකුත් නොවැම්බර් මස 25 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල ශුන්‍ය කරන බවයි.
පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් ප්‍රශ්න තුනක් පිටවීම තුළින් ඇතිවූ අර්බුදය නිරාකරණය කිරීම සඳහා විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් තුන අතරින් වඩාත් සුදුසු විසඳුම තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ගන්නා තීරණය විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.
එහි දැක්වෙන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව තීන්දුව ප්‍රකාරව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ තුනක් ලබා දුන් බවද එහි සඳහන්.
එම නිර්දේශ වන්නේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදු කිරීම, අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම සහ ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීමයි.
මෙම නිර්දේශ අතරින් සුදුසුම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස නියෝග කර තිබූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ඒ අනුව මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබාදිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම තෝරා ගත් බව ඔහු සඳහන් කළා.
ඒ අනුව අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.