චීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට අද පෙරවරුවේ බෙයිජිං අගනුවර වෙත ළඟා වුණා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය එරට වේලාවෙන් පෙරවරු 10යි 25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වන්නේ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුවයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වනදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතයි.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර යන මහත්වරුන්ද එක්ව සිටිනවා.
ජනාධිපතිවරයා ඇතුළු මෙරට දූත පිරිස චීන ජනාධිපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.
එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහ ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට නියමිතයි.